Monday, December 21, 2015

මවු-පුත් ප්‍රේමයේ සදාතනික සංකේතය


සනාතනිකව ගමන් ගන්නා කාලය, වසරේ අග හරියේදී, ලොව බොහෝ දේශයන්ට දැඩි ශීත සමය ගෙන එද්දී, කිතුනු බැතිමත්තු ඒ සිහිලට හාත්පසින්ම වෙනස් වූ ආගමික භක්ති පූජාවක උණුසුමත්, ජගත් ව්‍යාප්ත සාමකාමී උද්දාමයකින් උතුරා ගලා බස්නා ප්‍රමෝදයක්, මානව සංහතිය පුරා වපුරති.
මේ ලෝ පතළ මිනිස් උලෙළ අප කවුරුත් දන්නේ නත්තල් සමය වශයෙනි. ඉංගිරිසියේ නැටිවිටි නම් පදයෙන් හැදෙන නත්තල යන වදනෙහි අරුත උපත යන්නයි. එසේ වුවද, අද මේ වචනයෙන් නම් කෙරෙන්නේ හුදෙක් එක් විශිෂ්ට උපතකි. එනම් යේසුස් බිලිඳාගේ උත්පත්තියයි.
මිනිස් චින්තනයේ නොනවත්නා විකාශනය නිසා, අද අප වෙසෙන මේ යුගයේදී නත්තල එක් සාමයික කණ්ඩායමකට හෝ ජන වර්ගයකට හෝ පමණක් සීමා නොවේ. ශ්‍රේෂ්ඨ මාතාවක් හා ඇයගේ දේව ගුණ ගත්, බිලි‍ඳෙකුත් කේන්ද්‍ර කොටගත් නත්තල් උලෙළ, ලොව හැම දෙනෙකුගේම හද බඳනා, විශිෂ්ට අවස්ථාවක් බවට පත්වෙයි.
දෙව් මව සහ දෙව් බිලිඳා
මෙත් සිත සව්සත කෙරෙහි යොමු කරමින්, සමයාන්තර සහනය සිය අකාලික දහමේ ප්‍රබල පදනමක් බවට පත්කළ සම්මා සම්බුදු හිමියන්ගේ මඟපෙන්වීමෙන් සසර සැරිසරන බෞද්ධයන්ට, ජීවය කෙරේ සම්මානය දැක්වීම දෘඪ ආගමික වතාවතකි.
ගරු ජෝසප් වේන් පියතුමාගේ කියමනක් මෙහි ලා උපුටා දැක්වීම වටනේය:
“බුදු සමය විසින් ජීවිතය උගන්වනු
ලබන්නේ නීති - රීතිවලින් නො වේ.
න්‍යාය හා ධර්මතා මඟිනි. ඒ නිසා,
බුදු සමය හැම මතයක්ම ඉවසන,
හැමෝටම ඉඩ දෙන ආගමකි.“
ඒ දර්ශනයේ සිට නත්තල් උලෙළ කෙරේ සිත් යොමු කරන විට, මේ ආගමික උලෙළ නිසා, පොදු මානව සමාජයට දිගු කලක් මුළුල්ලේ උදාවන සුබසෙත මැදහත්ව දැකිය හැකි වේ.
බටහිර කලා සම්ප්‍රදායයෙහිදී, මවත් බිලිඳාත් පිළිබඳ තේමාව, අතිශයින්ම පෘථුල ලෙස භාවිත වූ නිර්මාණ ප්‍රස්තුතයකි. බටහිර කලා සම්ප්‍රදායයෙහි දේව මාතාව හා දෙව් බිලිඳා මූර්තිමත් කරන ලද කලා නිර්මාණයක්, ක්‍රිස්තු වර්ෂයට පසු තෙවන ශතවර්ෂයට පමණ අයත්ව තිබී, මෙයට අවුරුදු හැටකට පමණ පෙර දී සොයා ගන්නා ලදී. ඒ නිර්මාණය 'බයිසන්ටයින්' අධිරාජ්‍ය කාලයට අයත්ය.
ශතවර්ෂ 16ක් පමණ කාලයක් මුළුල්ලේ, දෙව් මව සහ දෙව් බිලිඳා යන තේමාව රැගත් කලා කෘති දස දහස් ගණනක් ජගත් කලා නිර්මාණ සම්භාරයට එක්වූයේය. මේ තේමාව (මව සහ බිලිඳා) නිර්මාණය කරන පිණිස, දිඟු ඓතිහාසික පරිච්ඡේදයක් මුළුල්ලේ, ශිල්පීහු ඉනැමල්, වීදුරු පූට්ටු, පාට කළ වීදුරු, රන්, රිදී, මුතු මැණික් ආදියෙනුත්, විවිධ චිත්‍ර හා නිර්මාණ ක්‍රම මඟින්තු දෙව් බිලිඳා හා මාතාව නම් තේමාව මූර්තිමත් කළහ.
කිව නොහෙන තරම් අගයැති දේ භාවිත කෙරෙමින් තැනුණු බෞද්ධ කලා කෘති ප්‍රවාහය ද බැතිමතුන්ගේ ඉම්හිම් නැති ශ්‍රද්ධාව පිළිබිඹු කරයි.
නත්තල් සමය ආශ්‍රිත චාරිත්‍ර වාරිත්‍ර සමූහයෙන්, ඇතැම් දේ, අද පොදු මානව සමාජයේ සාංස්කෘතික උරුම බවට පත්ව ඇත.
ත්‍යාගශීලිත්වය හුරු කිරීම
ඒ සියල්ල අතුරින් බොහෝ දෙනකුගේ සිත් දිනාගන්නා එක් අංශයක් නම් නත්තල් තෑගි හා ආශ්‍රිත තොරතුරු ප්‍රදේශයයි.
යම්කිසි අවස්ථාවකදී තෑගි - බෝග පිරිනැමීම ඉතා ඈත ඉතිහාසයට විහිදෙන චාරිත්‍රයක් වුවද, පුද - පඬුරු පිරි නැමීම නත්තලේ විශිෂ්ටාංගයකි.
මෙය සිදු වූයේ ඉතා විචිත්‍රාකාරයෙකිනි.
යේසු බිලිඳාගේ පියා ජෝසප්ය. මව මේරිය. බයිබල ප්‍රවාදයට අනුව, ගේබ්‍රියෙල් දේව දූතයා, ආශ්චර්යවත් දේව ප්‍රකාශයක් ගෙන, නසරත්හි විසූ මේරි කාන්තාව වෙත ආවේය. අවුත් ඇයට දන්වා සිටියේ එතුමිය ගර්භණීව සිටින බවයි. එතැන් පටන්ම එතුමිය, පුද - පූජා විශේෂ සම්මාන සංග්‍රහ ආදියට පාත්‍ර වූවාය. හේතුව ඇය කුස ඔත් බිලිඳා දෙව් බිලි‍ඳෙකැයි ප්‍රකාශ වීමයි.
එවකට යුදෙව් දේශය පාලනයක සීසර් ඔගස්ටස්ගේ අණින් හැමෝගෙන්ම, මුළු ලොවින්ම අය බදු අය කළ යුතු විය. අයබදු සඳහා, ජනතාවගේ සංගණනයක් සකස් කළ යුතු ද විය. ජෝසප්, සිය ගර්භණී, භාර්යාව හා සමඟ සංගණනයට පෙනී සිටීමට යෙරුසෙලම් නගරයේ බෙත්ලෙහෙම් ප්‍රදේශයට ගියේය. නගරයේ නවාතැන්වල ඉඩකඩ නොතිබුණු නිසා මේරි මාතාවට සිදුවුණේ ගව ලෙනක නවාතැන් ගන්නටයි.
ජේසු බිලිඳු උපත
නත්තල් පුද පඬුරු පිළිබඳ උත්තම පක්ෂය ඒ ගමන හා සමඟ සම්බන්ධ වේ.
මාතාව එතැන නවාතැන් ගෙන සිටියදී, කලක් මුළුල්ලේ ඒ බිලිඳු උපත ගැන දැන සිටි, ඍද්ධිබල සහිත රජවරු තිදෙනෙක් ඒ පෙදෙසට පැමිණියහ. ඔවුන් ඒ සුවිශේෂී සිද්ධිය කල්තියා දැනගෙන, අපූරු තාරකාවක මංපෙන්වීමෙන් ඒ බෙත්ලෙහෙම් පෙදෙසට ආහ. ඒ රාජ්‍යය පාලනය කළ හෙරොද් රජුත් හමු වූ මේ ඍෂිවරුන් තුන්දෙනා (රජ තුන් කට්ටුව) ගව ලෙන වෙත එළඹුණහ.
පෙරදිගින් සම්ප්‍රාප්ත වූ ඔවුහු, දෙව් බිලිඳාට තමන් විසින් සිය රටවල සිට ගෙනෙන ලද විශේෂ තුටු පඬුරු පුද කළහ.
පෙරදිගින් පැමිණි රජවරුන් තිදෙනා ගැස්පාර්, මෙලිතියෝර් සහ බල්තසාර් නම් වූහ.
රජවරුන්ගේ පුද පඬුරු
මේ රජුන් තිදෙනා අතුරින්, ගැස්පාර්, රජු, ශ්‍රී ලංකාවෙන් ආ තැනැත්තෙකු බවත්, ඔහුගේ ශ්‍රී ලාංකික නාමය කාශ්‍යප වූ බවත් ඇතැම් ජනශ්‍රැතිවල පැවැසේ.
ඔවුන් විසින් ගෙන එන ලද තුටු පඬුරු රන් කට්ටකුමංජල් සහ සාම්බ්‍රානිත් කළුවැල් හා අගිලිත් යැයි සමහරු සලකති. රන් ගෙන යන ලද්දේ ශ්‍රී ලංකාවේ කාශ්‍යප රජු විසිනැයි ද ජන ප්‍රවාදයන්හි පැවැසේ.
එසේ නත්තල් උලෙළ ආශ්‍රිතව, තෑගි බෝග, තුටු පඬුරු ගන - දෙනු කොට ගැනීම, අති විශිෂ්ට සිද්ධිය බවට පත්වූයේ, ඒ රජවරුන් තිදෙනා විසින් පුදනු ලැබූ උපහාරාත්මක පඬුරු නිසාය.
මුළු මහත් මානව සමාජයටම, සිය දහම වැලඳ ගන්නට මඟ පාදා දෙමින්, ලොව ප්‍රථම නත්තල් දිනයේදී, දිළිඳු ගව මඩුවක උපන් දෙව් බිලිඳා ලොව එළිය දුටු ස්ථානය අද, ලෝකයේ අති විශාල බැතිමතුන් කණ්ඩායමකගේ පුද පූජාවට නිරතුරු පාත්‍ර වන ශුද්ධ භූමියකි.
එදා ගව මඬුව, අද විභූතිමත් සිද්ධස්ථානයකි. ඒ සිද්ධස්ථානයේ බිම, යේසු බිලිඳා උපන් තැන දක්වන රිදී තාරකාවකි. ඒ තාරකාව මැද තරමක් විශාල කුහරයක් වෙයි. මෙහි එළඹෙන බැතිමතුන්ට, ඒ කුහරය තුළින්, එහි මුලින් තිබුණු ගල් තලාව දැකිය හැකිය. එම කුහරය වෙත දණ ඇනගෙන, මුල් ගල් තලාව ශ්‍රද්ධා භක්ති පූර්වකව සිප ගන්නටත් අද බැතිමතුන්ට අවස්ථාව සැලැසේ.
ඒ තාරකා කුහරයට නුදුරුව, දෙව් බිලිඳාගේ කුඩා රුවක් තැන්පත් කොට තිබේ.
පොසොන් සමයේදී, බොදු බැතිමත්තු, මිහින්තලාව මත වැඩ සිටි මිහිඳු හිමියන් හා පිරිස දක්වන සැරසිලි තනති.
එසේම යේසු බිලිඳාගේ ගවලෙන දක්වන සැරසිලි සකස් කිරීමත්, කිතුනු බැතිමතුන්ගේ නත්තල් චාරිත්‍රයෙකි.
නත්තල් දේව මෙහෙය (ක්‍රිස්මස්) නත්තලේ ප්‍රධානතම පුද පූජා විධියයි.
කුඩා දරුවන්ට නම්, නත්තල තෑගි - බෝග පිළිබඳ විශිෂ්ටතම යුගයයි. නත්තල් කාලයේදී, කුඩා දරුවන්ගේ ලෝකයට අරක් ගන්නා අපූරු වීරයෙක් ද අද නත්තල් චාරිත්‍ර - වාරිත්‍රයන්හි මුල් තැන ගනී. ඒ නත්තල් සීයායි. සමහරු නත්තල් පප්පා යැයි ද වහරති. නත්තල ආශ්‍රිත තුටු පඬුරු පිරිනැමීම මුලින් රජවරු තිදෙනා නිසා ආරම්භ වූයේ දො‍ළොස් වන රැයේදීය මේ ගැනත් සුළු විවරණයක් අවශ්‍යයි.
දෙව් බිලිඳාගේ උපත, තාරකාව අනුසාරයෙන් අවබෝධ කොට ගත් රජවරු තිදෙනා අපමණ දුක් වේදනා විඳ දරාගෙන, දූර්ග මාර්ග ගෙවා, දෙව් බිලිඳාගේ ගව ලෙනට පැමිණියහ. ඔවුන් පැමිණියේ දොළොස් වන රැයේදි ය. ඒ දොළොස් වන රැයේදී සිදුවූ රාජ ත්‍යාග ප්‍රදානය සහ දෙව් බිලිඳා බැහැදැකීමත් බිලිඳු දර්ශන මංගල්‍යය නමින් හැඳින්වේ. ඒ දිනය ජනවාරි හයවැනිදා යැයි සම්මතය.
ඒ නිසා නත්තල් තෑගි - තුටු පඬුරු පිරිනැමීම ලෞකික ක්‍රියාදාමයකටත් වඩා සාමයික චාරිත්‍ර - වාරිත්‍ර විධියක ස්වරූපය ගනී. ඒ නිසාම නත්තල ලොව පුරා දරුවන්ගේ උලෙළක් බවට ද පරිවර්තනය වේ.
ලොව දරුවන්ගේ නත්තල් උලෙළ සරසන නත්තල් සීයාගේ නම සන්ත ක්ලෝස්ය ඒ තෑගි බෙදන ශාන්තුවරයා ශාන්ත නිකොලස් නම් පූජකවරයෙකි. ළමයින්ට අනුග්‍රහය දක්වන ඒ පූජකවරයාගේ නිජබිම ඕලන්දය පසුව ඒ ශාන්තුවරයා, මුළු මහත් ලෝකයේම ළමා පරපුරේ ශාන්තුවරයා බවට පත්වී සිටියේය.
තෑගි බෙදන සාන්තුවරයා
ලෝකයේ බොහෝ දරුවන්ගේ ආදරය දිනූ සාන්ත ක්ලෝස් ත්‍යාග දායකයාගේ කතාව ලෝකයේ විචිත්‍ර ප්‍රවාදයකි.
ජන විශ්වාසයට අනුව, ඔහු වෙසෙන්නේ උත්තර ධ්‍රැවයේ හිම පිරි, දැඩි ශීතලෙන් යුතු ආශ්චර්යවත් පෙදෙසකයි.
නත්තල් සමයයේදී, ඔහු දරුවන්ගේ සිත් අදනා හඬ නඟන, සීනු සවිකොට ගත් හිම යානයකින්, දරුවන්ගේ ලොවට එයි. ඔහුගේ හිම යානය ඇදගෙන යනු ලබන්නේ පිනි මුවන් කණ්ඩායමක් විසිනි. ඒ කණ්ඩායමේ නායක පිනි මුවා රුඩොල්ෆ්ය ඒ නායක මුවා බොහෝ විට නිරූපණය වන්නේ දැඩි ශීතල නිසා තද රත් පැහැය ගත් නාසය සහිතවය.
නත්තල් සීයා බලාපොරොත්තු වන, අපරදිග දරුවන් විශ්වාස කරන්නේ නත්තල් සීයා නත්තලට පෙරදා රෑ සිය නිවසේ දුම් කුලුන ඔස්සේ අවුත්, තමන්ගේ ඇඳ ළඟ නත්තල් තෑගි තබා යන බවයි. නින්දට යන දරුවෝ, තමන්ගේ ඇඳ විට්ටමේ විශාල හිස් මේස් එකක් එල්ලා තබති. නත්තල් සීයා, තෑගි බහාලන්නේ එනිසාය.
වාණිජ සංකල්පයක් වීම
ආගමික ශ්‍රැතියකින් ඇරැඹුණු නත්තල් සීයා ප්‍රවාදය, අද මහා වාණිජ සංකල්පයකි. බොහෝ රටවල, නත්තල් සමයයේදී, නත්තල් සීයාලා, වෙළෙඳ සල්වල ගැවසෙති. නත්තල් සීයාලා පුරුදු කිරිමත්, ඔවුන් නිසි වාණිජ ලතාවට හුරු කිරීමත් අද වෙළෙඳ ලෝකයේ සුපතළ ක්‍රමාවලියකි. නත්තල් සීයා අඳින්නේ තද රතු ලෝගුවකි. හිසෙහි තද රතු හිස්වැස්මක් පලඳී. ඇඳුම්වල කොන්, හිම දක්වන සුදු පාටින් තැනේ.
සාප්පුවලට එන කුඩා දරුවන් උකුළ උඩ තබාගෙන, ඔවුන්ට අවශ්‍ය තෑගි බෝග ගැන කතාබහ කිරීම, නත්තල් සීයාගේ ප්‍රධාන රාජකාරියයි.
නත්තල් සම්භාෂණවලට නත්තල් සීයා සහභාගි වන විශාල තෑගි මල්ලක් කරෙන් රැගෙනය. දරුවන් සනසන හො හො හො හඬින් සිනා නඟමින්, ඔවුන් විසින් ඉටු කෙරෙන මෙහෙය, නත්තල් සොම්නස බොහෝ සේ දියුණු කරයි. නත්තලේ සන්ත ක්ලෝස් (ශාන්ත නිකොලස්) පුවත කොපමණ ජනප්‍රිය ද කිවහොත්, ඒ චරිතය පිළිබඳව දැවැන්ත චිත්‍රපටයක් ද තැනිණි.
නත්තල් ආසිරි පත්
මේ සමයේ දී ගනුදෙනුවක නත්තල් ආසිරි කාඩ්පත, ජගත් භාවිතයට ආයේ 1840 හේ දශකයේදීය. නත්තල් ගස සාමූහික හා පෞද්ගලික නත්තල් උත්සවයන්හි ප්‍රධාන තැනක් ගනී. ගෙමැද, පිහිටුවනු ලබන හරිත වර්ණ ගස, විවිධ සැරසිලි හා ආලෝක වර්ණ මඟින් දිලිසෙයි. නත්තල් දින උදෑසන අවදි වන දරුවෝ ගෙයි මැද තිබෙන නත්තල් ගස වෙත දිවගෙනවුත් තමන්ගේ නමට තිබෙන නත්තල් තෑගිවලින් සතුට විඳිති.
ඇතැම් නගරවල අතිශය විභූතිමත් ලෙස සැරසූ දැවැන්ත නත්තල් ගස් පිහිටුවනු ලැබේ. උසින් අඩි 200 - 300 වන නත්තල් ගස් ද, ඇතැම් පෙදෙස්වල තැනේ. හරිත වර්ණ නත්තල් ගස නත්තලේ සිත පිනන අංගයක් වෙයි. නත්තල් සමයයේදී බොහෝ අපරදිග පෙදෙස් කොළ පැහැති ගස් වැල්වලින් තොර සුදු හිම තලාවෙන් වැසුණු පෙදෙස් බවට පත්වන හෙයිනි.
ඒ නිසා කොළ පැහැති නත්තල් ගස සදාහරිත ලොවක මූර්තිය වේ. එවැනි ගස් ඇතැම් විටෙක අධික මිලකට ගත යුතු වෙයි. බ්‍රිතාන්‍යයේ නත්තල් ගස් සඳහා බහුල වශයෙන් භාවිත වන්නේ නෝර්වේ දේශය නිජබිම් කොට ගත් ස්පෘස් නම් සදාහරිත ගස් වර්ගයකි.
බැහැර ලොව ශීතලෙන් ඉවත්ව නත්තල් දා රාත්‍රියේ පවුලේ අය ගේ ඇතුළත එක්වෙති. උඳුන, උණුහුම දෙමින් දැල්වේ. රැස්වූවෝ ගී ගයති. නටති. කති - බොති ප්‍රමෝද වෙති. නත්තල් භක්ති ගීත (කැරොල්) නත්තල් චමත්කාරයට එක්වන ආස්වාදදායි කලාංගයකි.
ශ්‍රී ලංකාව, බෞද්ධ කැරොල් (භක්ති ගීත ගායනා ක්‍රමය) සිය සාමයික චාරිත්‍රවලට එක්කොට ගෙන සිටිති. එක් සමයවාදයකට පමණක් නොව, නත්තල් මුළු මහත් මානව වංශයටම අදාළ සාමයික උත්සවයක් වන්නේ සාමකාමී, සුහද ජීවනය, නත්තල් උලෙළේ සනාතනික ජීවය හෙයිනි.
නත්තලේ මානව ප්‍රේමය
නත්තල් සතු මානව ප්‍රේමය, සනාතනික කතාවෙකින් ලොවට පිරිනමන ලද්දේ චාල්ස් ඩිකන්ස් නම් කීර්තිමත් ඉංගිරිසි ලේඛකයා විසිනි. 1812 උපත ලැබ 1870 දක්වා ජීවත්වූ චාල්ස් ඩිකන්ස් මහා සාහිත්‍ය විශාරදයා ක්‍රිස්මස් කැරොල් (නත්තල් ගීතය) නම් ප්‍රබන්ධ කතාවක් කළේය. එහි ප්‍රධාන චරිතය ස්කෲජ් නම් අන්නා අකාරුණික ලෝභියෙකි. ආරම්භයේදී අවීරයෙකු සේ ඒ පුවතට ලක්වන ඔහු, අවසානයේදී අතිශයින් දැන හද දිනන කරුණා වීරයකු වන්නේ, නත්තල් උදෑසන, ඔහුගේ අධ්‍යාත්මයේ අසීමිත මානව දයාවක් උදාවන හෙයිනි.
නත්තල සතු ප්‍රේමය, දයාව, මානව භක්තිය, කුලුණු බර චේතනා හා සුහද මිනිස් භක්තියත් චාල්ස් ඩිකන්ස් ඒ කතාවේදී ඉතාම ප්‍රබල ලෙස මූර්තිමත් කරයි. නත්තල, ප්‍රධාන වශයෙන්ම කිතුනු උලෙළක් සේ ලොවට එළඹෙතත්, මවු දරු සනාතන ඇල්මේ, පූජනීය අවස්ථාවක් වශයෙන් ජගත් ජන කණ්ඩායමේ හැම දෙනෙකුටම එයට සහභාගි විය හැකිය.
බෞද්ධ අපගේ සනාතන දර්ශනය සකස් කළ සම්මා සම්බුදු හිමියන් විසින් වදාරන ලද සියලු සත්ත්වයෝ නිදුක් - නිරෝගී සුවපත් වේවායි කියන පැතුම, නත්තල් උලෙළේදී හැම විදියකම සමයවාදියෙකු විසින් ඉදිරිපත් කළ හැකි වේ.
නත්තල් උලෙළ මානව සංහතියට සාමය - ප්‍රේමය - සුහද සහජීවනය තහවුරු කරන අසහාය දෙව් - මිනිස් මංගල්‍යයක් වේවා.!

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි