Monday, December 21, 2015

නත්තල් ගීතිකාවේ පිය ජයකොඩි සලකුණ


නත්තල අපේ සිත් තුළ ජනිත කරන්නේ ආනන්දයක්ම ය. ලොවපුරා කිතුනුවන් කිතු උපත සමරන අද දින ශ්‍රී ලංකාවාසී අපේ නත්තල තුළ සිංහල ලකුණු එක් කළ මහා පුරුෂයෝ ගැන කතා කළ යුතු වේ. මේ රටේ කතෝලිකයන් දේශීය ඌරුවට යොමු කිරීමේ ප්‍රධාන බලවේගය නිර්මාණය කළේ අති උතුම් එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා ය. ප්‍රථම සිංහල රදගුරු පමණක් නොව, ‍කතෝලික සභාව එතෙක් පැවැති චූල සම්ප්‍රදායන් ඉවතලා සිංහලේ මහා සම්ප්‍රදායට පියමං කරවූයේ එතුමා ය. සිංහල බෞද්ධ, සිංහල කතෝලික සමඟියේ අත්තිවාරම ද එතුමා ය. උන්වහන්සේ අදීන උරුමයන්ගෙන් කතෝලික පල්ලිය පෝෂණය ‍කළෝ ය. ඒ ගමන් මඟ ගැන අර්නස්ට් පෝරුතොට පියතුමා සඳහන් කරන්නේ මෙසේ ය.
“‍කතෝලික සභාවේ සංගීතඥවරු ද ඒ ඒ කාලයට ඔබින ලෙස සිංහල ගීතිකා රචනය කළහ. මුලින් ප්‍රංශ, ඉතාලි ගීතිකා තාලවලට සිංහල වචන කැවීමට පුරුදු විය. පසුව මර්සලින් ජයකොඩි, එඩ්‍රියන් ජෝෂප්, ජෝෂප් කබ්රාල්, බළන්ගොඩ මෝසස් පෙරේරා ආදී පියවරු සිංහල ගීතිකාවන්ට දේශීය සංගීතයක පදනම ඇතුළු කළහ.”
මෙම කටයුත්තේ දී ජයකොඩි පියතුමා පුරෝගාමී මෙහෙවර අමතක කළ යුතු නොවේ. පිය ජයකොඩි මේ වෙනස්වීම් ගැන දැක්වූ ආකල්පය ‘තටු’ පද්‍ය සංග්‍රහයේ මෙසේ සඳහන් වේ.
“‍අපේ ඇදහිලි ක්‍රම ‍විදේශ විය. ගැයුම විදේශ විය. අපේ සංස්කෘතියට කොතනකවත් ඉඩ නොතිබිණි. එය පිළිකුල් කරනු ලැබුවා පමණි.
මෙයට පටහැනිව ‍මගෙන් ස‍ීතල සටනක් බිහිවීම ඉබේම වූ දෙයකි. මුලින් ම යටත් විජිත බැමිවලින් ලිහෙනු සඳහා ඒ සමයේ තිබුණු දෙමුහුන් ගායනා ක්‍රමය වෙනස් කරනු පිණිස හෙළ තනු පදමාලා - පූජාවලට ඇතුළත් කෙ‍ළෙමි. ඒ වෑයම ඇරඹුණේ තිස් ගණන්වලට ය. මගේ වෑයම ජනප්‍රිය වූයේ වේගයෙනි. කොතනකවත් ඇනහිටිල්ලක් ඇති නොවී ය.
ඒ ම‍ගේ සිංහල සටනේ එක් අදියරකි.
මර්සලින් ජයකොඩි පියා ලියූ මුල් ම ගීතිකාව පහත සඳහන් වේ.
‘සපිරි සෑම - අසිරි සෝම
මවුමරි සේම - පනවැනි
සකල් දෝසයෙහි - නිදොස්
සුවඳ රෝස කුසුමකි’
චිත්‍රා සෝමපාල එය ගුවන්විදුලියට ගැයූ අතර තැටියට නැංවූ ප්‍රථම සිංහල ගීතිකාව වන්නේ ය. මෙහි තනුව බටහිරින් ලබාගත්තක් නොවේ. ජයකොඩි පියතුමාගේ ස්වතන්ත්‍ර නිර්මාණයකි.
උන්වහන්සේ රචනා කළ ගීතිකා අතර ‘රෑ තරු බැබළෙනවා’ ‍වෙසෙසින් සඳහන් කළ යුතුවේ. තනුව මෙන් ම පදවැල් කාව්‍යමය ගුණයෙන් අනූන වේ.
රෑ තරු බබළනවා - මල් පිපිලා වාගේ
එළියෙන් නැහැවෙනවා - මල් වැහැලා වාගේ
රැව් පිළිරැව් දෙනවා - ගීත නාද වාගේ
බිලිඳෙකු හිනැහෙනවා - මුහුදක රැළි වාගේ
සීත සුළං එනවා - උයනක සිරි වාගේ
ගොපළුන් දුර එනවා - පැණි බඹරුන් වාගේ
බිලිඳෙකු හිනැහෙනවා - පොපියන කුසුම් වගේ
තුරුලතා පෙරළෙනවා - හිම මත හිම වාගේ
නත්තල් රැය සිදු වූ අසිරිමත් ජේසු උපත චිත්‍රණය කරන මෙම ගීතිකාව රසාලිප්ත වේ. මේ ලෙස මුළු අහස පුරා තරු යායක් ව ඇත‍. එය මල් යායක් සේ ය. සවන් පතින් ඇසෙන්නේ ගීත නාදම ය. උපත ලද ජේසු බිලිඳුන්ගේ සිනාහඬ අප රට වටකර ඇති මුහුදේ රැළි එකපිට එක නැ‍ෙඟන්නා සේ ය. නත්තල් අසිරිය ඒ ජේසු උපත, සිහි කොට සොබාදහම ඔකඳ වන අයුරු ගීතිකාවකට මුසු කළේ එසේ ය.
සිනහවකින් ලොව පිබිදෙනවා
නත්තල දොර ළඟ හිනැහෙනවා
ගවහලකට තරුවක් යනවා‍
අහසට පොළොව ගැටේ
තරු එළියක් කඳු වැටියේ
බෙත්ලෙහෙමේ මංගල එළියේ
මල් වැසි වසනු පෙනේ
තටු ගෙන සුදුහිම ඉගිළෙනවා
අතු අග මුතු මෙන් බබළනවා
හිරුකැන් සුදු ඊතල වෙනවා
සැමතැන රිදී වගෙයි...
ගවහලේ අසිරිමත් උපත ලොවට හඬගා කියන්නේ සීනු හඬයි‍. ඒ සමඟ නත්තල දොර ළඟ සිනාසෙයි‍. අහසත් පොළවත් ගැටෙනා සඳ, ගවහල වෙත තරුවක් ඇදෙයි‍. කඳු වැටි සිසාරා බෙත්ලෙහෙමේ එළි අතරින් මල් වැසි වසිනු පෙනේ. සුදුහිම හමා යන්නේ තටු ලැබූසේ ය. ඒ සුදු හිම අතු අග බබළන්නේ හිරු කැන් විහිදුවමිනි.
මුළු කිතුණු ලොවට ම පොදු වූ නත්තල් ගීතිකාවක්සේ එය නත්තල් තේමා ගීතයක් සේ ප්‍රකට ‘සයිලන්ට් නයිට්’ ගීතය ශාන්ත රසය මුසු වූ බටහිර ගීතිකාවකි. මෙම ගීතිකාවේ අරුත මෙන් ම මෙරටට ගැළපෙන අන්දමට අරුත් ගන්වමින් ලියැවුණු ගීතයක් වේ. සෑම නත්තලක දී ම එම ගීය දෙව්මැදුරු තුළ රැව්දෙන ගීතිකාවක් සේ හැඳින්‍විය හැකි ය.
නිසල ඒ - මිහිරි රැයේ‍
රස වදනින් - මුතු පැහැයේ
අහස පුරා - තරු එළිය දිළේ
පොළොව කරා වැද සිරිය හැලේ
ජේසු පුතා බිහිවී
මවු කැකුළේ - රන් උකුලේ
පුත බැබළේ - ගොපලු පැළේ
මෙලොව දුරලන දෙව් බිලිඳා
සිටිනු පෙනේ - පොඩි අත් විසිර
බෙත් ලෙහෙමේ බිහිවී
‍මෙම පරිවර්තනය වෙසෙසින් ම සාර්ථක වූයේ ය. ඒ අන් කිසිවක් ‍නිසා නොව ජයකොඩි පියතුමා භාෂා නෛපුනතාවත්, සංගීත දැනුමත් හේතු කොට ය. මුල් ‘සයිලන්ට්’ තනුව අනුවම එම ගීතිකාවේ පදවැල් ලියවුණ ද ඒ තුළින් කාව්‍යමය ආකෘතියක් බිහිකිරීමට එම ගීතිකාව පිරිපුන් ‍විය.
ජේසු රජ‍ාණෙනි ඔබ වටලා
ගීත ගයා ඔබෙ ගුණ වඩලා
සාදු දිදී පිරිපද පුදලා
පාද සිපා සැනසීම දෙමු
පාද සිපා - පාද සිපා - පාද සිපා - සැනසීම දෙමූ
දුබල අයෙක් වන පව් නොබලා
ලෝකරසය වන පව් නොබලා
නීච අපෙන් ඔබ මෙන් නොබලා
ජේසු ඔබේ - දෙනුමැන සරණේ
බොදුණු සිතුම් කතෝලික ගීතවලට එක් කිරීම විෂයෙහි එතුමාගෙන් සිදුවූ මෙහෙවර දෙආකාරය. අර්ථ රසයෙන් ඒ සඳහා උපයෝගි කරගත් උපමාරූපක වචන ද බොදුන් භාවිතයෙන් උගත් දෑ ය. ‘සාදු දිදී සිරි පා පුදලා’ පාද සිපා සැනසීම දෙමු’ වැනි යෙදුම් එතෙක් කතෝලික ගීතිකාවල පෙර නොවූ විරූ ය. මෙම ගීතයේ තනුව මෙන් ම වදන් මාලාව බොදුණු ආරක් මතුවන, සාර්ථක නිර්මාණයක් සේ හැඳින්විය හැකි ය.
සොඳුරු පැයක - අඳුරු රැයක ජේසු උපන්නේ
අඳුරු පැයක - සොඳුරු ලියක - මුහුණ දිලෙන්නේ
මලුත් පරවෙලා - දලුත් පරවෙලා
සුවඳලාවූ දැල්වී වළලු දුම් ඇදේ
රන්තලා - වළලුලා - අතට බිලිඳුගේ
සුවඳලා - ඇහැරලා - ජේසු බිලිඳාගේ
ජේසු සමිඳුන්ගේ උපත සිදුවූ ඒ රැය, අඳුරු රැයක් විය. ඒ උපත සිදුවූයේ සොඳුරු පැයකය.‍ එම සොඳුරු බවින් අනූන මරියා තුමිය දෙස හෙළු බැල්මක් වේ.
ජයකොඩි පියතුමාගේ නිර්මාණ රැසක් ගුවන් විදුලියට එක් විය. ඒ අතරින් තැටි ගැන් වූ ගීත රාශියක් ගුවන්විදුලියේ තැටි ගබඩාවේ තවමත් ඇත. ඒ අතරින් තුඩ තුඩ රැව්දෙන කිතුනුවන් අතර පමණක් නොව කා අතරත් රැව් දුන් ගීයක් වේ.
රොනට වඩින බිඟු ඔබයි
කුකුළු මල මමයි
මලට සුවඳ ටික ඔබයි
සිහින් පෙති මමයි‍
ජේසු දෙවියනේ//
විලට වඩින පිනි ඔබයි
පද්මිණිය මමයි
සුළඟ සලන සිරි ඔබයි
ලලිනිය ඔබයි
ජේසු දෙවියනේ//
පහන් දොරට හිරු ඔබයි
කුමුදිනිය මමයි
රැයට දිලෙන සඳ ඔබයි
සඳට රැය මමයි
ජේසු දෙවියනේ//
දියට මුහුද දෙව් ‍ඔබයි
ගලන ගඟ මමයි
දියට පහළ ජල ඔබයි
නගින රළ මමයි//
අතිඋතුම් එඩ්මන්ඩ් රදගුරු තුමන් විසින් කතෝලික සසුන විෂයෙහි ඇති කරන ලද හර පෙරළියේ මංපෙත් ඔස්සේ ගමන් කළ කතෝලික පූජක‍තුමෝ අතර දිවංගත මෝසස් පෙරේරා, මර්සිලින් ජයකොඩි, වෙසෙස් තැනක් ගනිති. දොන් ජෝෂප් හෙවත් සුනිල් ශාන්ත, නයින මඩමේ ජේ‍.කේ‍.එස්. පෙරේරා කතෝලික සභාව දේශජ සංගිත සංකල්පයක් පෝෂණය කළෝ ය.
සිංහල කතෝලික ගීතිකාවේ මූලික වෙනස්වීම් පිළිබඳ විශ්ලේෂණයක යෙදීමේ දී භාග්‍යවන්ත ජුසේවාස් ආරම්භක ‍පුරෝගාමීන් වූහ. එතුමෝ සිංහලකම නො වූයේ ය. එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමා බටහිර ගීතිකා මෙන් ම ස්වතන්ත්‍ර ගීතිකා ද නිර්මාණය කළහ. කඨෝර බස් වහර වෙනුවට ගීතිකාවේ බස සුබුහුටි, සුගම වාග්මාලාවක් ගෙනඒමේ ගෞරව මෝසස් පෙරේරා පියතුමාට හිමිවිය යුතු ය. මර්සිලින් ජයකොඩි පියතුමා ගීතිකා නිර්මාණයේ දී කවි සිතුවිලිවලින් පෝෂණය වූ ආගමික දෘෂ්ටියකින් යුතු නව අන්තර්ගතයන් ‘කතෝලික ගීතිකාවට එක් කරමින් මෙරට ජනප්‍රිය ගී ආරක් ගීතිකාවට එක් කිරීමේ ගෞරවය හිමිවිය යුතු යි.”

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි