Monday, October 12, 2015

‘වන රෝපා’

ජනපතිගේ මඟ පෙන්වීම අනුව ඔක්තෝබරය රුක් රෝපණ මාසය වෙයි පැළ ලක්ෂ 15 ක් සිටුවනු ලැබේ.

වයස 50 ට වැඩි ගසකින් රු. ලක්ෂ 40 ක සේවයක්
අපේ ජීවත්වීමට පරිසරය, වනාන්තර හා පිරිසුදු වාතය නැතිවම බැරිය. එමෙන්ම පරිසරය සුරැකීමට පාංශු ඛාදනය හා සමුද්‍ර ඛාදනය ප්‍රධාන ගැටලුවක් ද වී තිබේ. රටේ පාරිසරික හා මහවැලි සංවර්ධන ඇමැතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ඉතා ඉක්මනින් මෙරට විසඳිය යුතු පාරිසරික ගැටලු තුනක් හඳුනාගෙන තිබේ.
වන ගහනය අඩුවීම, කැලි කසළ ප්‍රශ්නය හා පස නිසරු වීම පාංශු ඛාදනය හා මුහුදු ඛාදනය ඒ අතර වේ. මින් ප්‍රධානතම ගැටලු විසඳීම පිණිස පරිසර අමාත්‍යාංශය විසින් ‘පුනරුදය’ නම් ජාතික පාරිසරික සංරක්ෂණ වැඩ සටහන ක්‍රියාවට නංවා තිබේ.

මෙහිදී පරිසරය ද, තිරසාර සංවර්ධනයට අදාළ ප්‍රධාන ගෝලීය සම්මුති සඳහා දේශීය වශයෙන් දායක වීමට වන ආවරණය වැඩි කිරීම පොදු ප්‍රවේශයක් ලෙස යොදා ගනු ලැබේ.

මේ අනුව මෙරට වන ආවරණය වැඩි කිරීම පිණිස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඔක්තෝබර් මාසය ජාතික රුක් රෝපණ මාසය ලෙස නම් කර තිබේ. මේ මාසය ඇතුළත ‘වන රෝපා’ නම් ජාතික රුක් රෝපණ වැඩ සටහනක් රටපුරා ජාතික මට්ටමින් ක්‍රියාවට නැංවෙන බව පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා කියයි.

මෙම යෝජිත ජාතික රුක් රෝපණ මාසය තුළ දී විශේෂ අවධානය යොමු වනුයේ රුක් රෝපණ වැඩසටහන්වලින් වඩාත් අර්ථවත්ව වන ආවරණය වැඩි කිරීමට ඉහළ දායකත්වයක් දක්වන වැඩසටහන්වලට ය. එනම්, මෙය නිශ්චිත ස්ථානයන්හි පැළ රෝපණය කරන හා එම රෝපණය කරනු ලබන පැළ සඳහා රැකවරණය ලබා දෙමින් තිරසර ලෙස කරනු ලබන වැඩසටහනකි.
තව ද, එහි දී අධික ලෙස හායනයට ලක් වූ කඳු මුඳුන්, ඉහළ ජලාධාර ප්‍රදේශ හා විවිධ හේතූන් මත වන වැස්ම හායනයට ලක් වූ ස්ථාන තෝරාගෙන, එම ස්ථානවල රුක් රෝපණය දිරිගැන්වීම අපේක්ෂා කෙරේ.
මෙම සමස්ත අරමුණ පෙරදැරිව, පහත සඳහන් දැක්ම හා තේමාව යටතේ අභිමතාර්ථ කිහිපයක් මුදුන් පමුණුවා ගැනීමට මේ යටතේ යෝජිත ය:
හරිත ශ්‍රී ලංකාවක් බිහි කිරීම මෙම වැඩ සටහනේ දැක්මයි.

වන ආවරණය රහිත නිසරු බිම් තීරුවල වන උයන් නිර්මාණය කිරීම මේ වැඩ සටහනේ තේමාවයි.
මෙහි ප්‍රධාන අභිමතාර්ථ 5 කි.

ශ්‍රී ලංකාවේ වන වැස්ම 29% සිට 32% දක්වා වැඩි කිරීම සඳහා දායක වීම, වන වියනෙහි ගුණාත්මක තත්ත්ව ඉහළ නැංවීම, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය හා ස්වාභාවික පරිසර පද්ධති නිසි ලෙස පවත්වා ගැනීම, ශ්‍රී ලංකාවේ මුඩු බිම් රුක් රෝපණයට යොදා ගැනීම හා වාණිජ වන වගා ප්‍රවර්ධනය හා කළමනාකරණය ඒ අතර වේ.

රුක් රෝපණය මුළු පරිසරය සුරැකීමට ප්‍රධාන හේතුවකි. ගසක් යනු බැංකුවකි. 40 වසරක් වයසැති සාමාන්‍ය ප්‍රමාණයේ ගසක් තම ජීවිත කාලය ඇතුළත රුපියල් ලක්ෂ 40 ක පමණ සේවයක් පරිසරය හා ජනතා සුවසෙත වෙනුවෙන් ඉටුකර ඇතැයි පැවැසේ.

ඉන්දියාවේ ‘දාස්’ නමැති විද්‍යාඥයා ඉන්දියානු සඟරාවකට ලියා ඇති ලිපියක් අනුව මෙවැනි ගසක් වසරකට ඔක්සිජන් කිලෝග්රෑම්1000 ක් නිපදවයි. එමෙන්ම වසරකට කාබන් ඩයොක්සයිඩ් ටොන් හයක් උරා ගනු ලබයි. මෙවැනි ගසක් පිට කරන ඔක්සිජන් ප්‍රමාණය මිනිසුන් දස දෙනකුට ආස්වාසයට දිනකට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයයි.

මෙවැනි ගසක් වසර 50 ක් ඔක්සිජන් පරිසරයට ලබාදීමෙන් කරන මෙහෙය රුපියල් ලක්ෂ 5 කට අධිකය. වසර 50 ක් ඇතුළත පරිසරය දූෂණය වැළැක්වීමේ වටිනාකම රු. ලක්ෂයකට ආසන්නය.
පොහොර නිපදවීමේ වටිනාකම රුපියල් ලක්ෂ 4 කට අධිකය. සෙවණ ලබාදීම, සෝදාපාළුව වැළැක්වීම, පාංශු වාතය ඇති කිරීම ද අවුරුදු 50 ක් වයස ගසක් මඟින් මනාව ඉටු කරනු ලැබේ.
මෙවැනි ගසක් මඟින් විඩාව, මානසික පීඩනය, ආතතිය අඩු කරයි. රෝග සුවකර ගැනීමට ද මෙවැනි මහා වෘක්ෂවල බලපෑම බහුලය.
ඒ සමඟම සමාජීය ආරක්ෂාව සහ මානසික සුවය ඇති කරයි. වසරකට මෙවැනි ගසක් විස ක්ෂුද්‍ර අංශු කිලෝග්රෑම් 13500 ක් ඉවත් කරනු ලබයි. ඊට අමතරව ආහාර ඉන්ධන දැව පොහොර වැනි සම්පත් රැසක් ලබා දෙන මෙවැනි මහ ගසක් ජීවින් දහස් ගණනකට සෙවණ ලබා දෙයි.
ඊට අමතරව විස බැර ලෝහ අවශෝෂණය කිරීමටත් උෂ්ණත්වය පාලනය කිරීමටත් සෙවණ ලබාදීමටත් මේ වෘක්ෂ මඟින් ලබාදෙන මෙහෙය අතිවිශාලය.
‘වන රෝපා’ වැඩ සටහන අනුව ඔක්තෝබර් 1 සිට සති 4 ක් පුරා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක වේ. ඒ අනුව ප්‍රථම සතිය ‘ජන හිසට - තරු සෙවණ’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වේ.
නාගරික වන උද්‍යාන ඇතිකිරීම මේ සතියේ සිදු කෙරේ. ප්‍රධාන හා උප ප්‍රධාන නගර ආශ්‍රිත ඉඩ පහසුකම් ඇති රජයේ භූමිවල පැළ සිටුවනු ලැබේ. දිවයින වටා පවතින වෙරළ තීරයේ තෝරාගත් ස්ථානවල පැළ සිටුවීම මෙහිදී සිදුවිය. ඊට අමතරව ‘දේශජ’ තුරු උයන් වැඩ සටහන හා හරිත ගෙවතු වැඩ සටහන මේ යටතේ ක්‍රියාවට නංවන ලදී.

‘වන රෝපා’ වැඩ සටහනේ දෙවැනි සතිය ඔක්තෝබර් 8 සිට 14 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙයි. තේමාව වන අරණ - රැකවරණ යන්නයි.
ඒ අනුව ක්ෂේම භූමි සංරක්ෂණ වැඩසටහන ක්‍රියාවට නැංවේ. මේ යටතේ ජල පෝෂක ප්‍රදේශවල රුක් රෝපණය සිදු කෙරේ. මේ සතියේදී ගම්පොළ සිට කිලෝමීටර් 2 ක දුරින් පිහිටි නාවදෙවිට මහවැලි ගඟ රක්ෂිත ආයතනයේ ආයතනයේ අක්කර 6.7 ක ප්‍රමාණයක ආදර්ශ වන වගාවක් ලෙස ස්ථාපනය කිරීම මේ සතියේදී සිදු කෙරේ.

මේ වැඩ සටහනේ තුන්වැනි සතිය ඔක්තෝබර් 15 සිට 21 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. මේ සතියේ තේමාව ‘ජන හිසට - තුරු සෙවණ’ යන්නයි. මේ යටතේ මාර්ග දෙපස වන වගා සිදු කෙරේ. ඒ සමඟම ගංගා ඉවුරුවල රුක් රෝපණය මඟින් මෙන්ම වතු සමාගම් මඟින් කරනු ලබන රුක් රෝපණය මඟින් ‘වන අරණ’ පුළුල් කිරිමට කටයුතු කෙරේ. ඊට අමතරව තණමල්විල තම්මැන්නාව ප්‍රදේශයේ මැණික් ගැරීම සඳහා වෙන්දේසි කරනු ලදුව දැනට වළවල් වසා පුනරුත්ථාපනය කර ඇති හෙක්ටයාර 1.6 ක බිම් ප්‍රමාණයක වන වගා කිරීම ද සිදු කෙරේ.
මේ ‘වන රෝපා’ වැඩ සටහන යටතේ හතරවැනි සතිය ක්‍රියාත්මක වන්නේ ‘තුරු කැපකරු - අපි නිරතුරු’ යන තේමාව යටතේය. මේ යටතේ ආරාම රෝපා හා රණවිරු හරිත අරණ යන වැඩ සටහන් ඔක්තෝබර් 22 හා ඔක්තෝබර් 31 සතිය පුරා ක්‍රියාත්මක වේ. මැදිරිගිරිය ජාතික පාසල අසල අක්කර 1 ක රුක් ගොමුවක් ඇති කිරීම මේ යටතේ සිදු කෙරේ.
මේ සම්පූර්ණ වැඩ සටහන යටතේ රටේ රුක් ගොමුව තවත් වැඩි දියුණු කිරීමට පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට සම්බන්ධ සියලු ආයතන සිය දායකත්වය ලබා දෙයි. රටේම පරිසරය සුරකින මේ පුනරුදය වැඩ සටහනත් ඒ යටතේ මේ මාසයේ ක්‍රියාත්මක ‘වන රෝපා’ රුක් රෝපණ වැඩ සටහන රටට ඉතා වැඩදායි වනු ඇත.


http://www.silumina.lk/2015/10/11/_art.asp?fn=af1510111

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි